පවුල් ඒකකය ශක්තිමත් කිරීමේදී වෘත්තීයවේදී සමාජ සේවකයින්ගේ කාර්ය භාරය

 

අමරවංශ රණවීර,

සභාපති, ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදී සමාජ සේවකයින්ගේ සංගමය

අධ්‍යක්ෂ (විශ්‍රාමික), ශ්‍රී ලංකා සමාජසේවා විද්‍යාලය

ජාතික සමාජ සංවර්ධන ආයතනය.

ඊමේල්: ranaw6@sltnet.lk

 

ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදී සමාජ සේවකයින්ගේ සංගමයහා ජපානයේ සමාජ සේවකයින්ගේ සංගමය එක්ව, පවුල් ඒකකය ශක්තිමත් කිරීමේදී සමාජ සේවකයින්ගේ කාර්ය භාරය යන තේමාව යටතේ දෙදින ජාත්‍යන්තර වැඩමුලුවක් 2020 ජනවාරි 20 සහ 21 යන දිනවලදී කොලඹදී පැවැත්වීමට සැළසුම් කර ඇත. මෙම වැඩමුලුව සදහා ආසියා පැසිපික් වෘත්තීයවේදීසමාජ සේවකයින්ගේ සංගමයේ සභාපති, ජපානයේ කාන්තා විශ්ව විද්‍යාලයේ සමාජ වැඩ අංශයේ මහාචාර්ය මරිකෝ කිමුරා, ජපානයේ සමාජ සේවකයින්ගේ සංගමයේ ජාත්‍යන්තර නියෝජිත ආචාර්ය මිචිකෝ හිරාතා ඇතුලු ආසියා පැසිපික් කළාපයේ විවිධ රටවල නියෝජිතයින් 20 ක් පමණ හා ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රතිපත්ති සකස්කරන්නන් හා වෘත්තීය සමාජ සේවාවේ යෙදෙන්නන් 80 පමණ සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පවුල් ව්‍යුහයේ වෙනස්වීම, යෝජිත පවුල් ප්‍රතිපත්තිය, ළමා රැකවරණයේ හා වැඩිහිටි රැකවරණයේනව අභියෝග පිළිබදව දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්ගේ දේශන හා සාකච්ඡා පැවැත්වෙන අතර වෘත්තීයවේදී සමාජ සේවකයින්ගේ  කාර්යභාරය හදුනාගැනීමට අවධානය යොමුකරනු ඇත. වැඩමුලව අවසානයේදී පවුල් ඒකකය ශක්තිමත් කිරීම සදහා සමාජ සේවකයින් මැදිහත් විය යුතු ආකාරය පිලිබදව වාර්තාවක් සකස්කර රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.  සමභාගීවීමට හා වැඩි විස්තර ලබා ගැනීමට www.slapsw.comවෙත පිවිසෙන්න. මෙම කෙටි ලිපියෙහි අරමුණ වන්නේඑම වැඩමුලුවේ තේමාව විස්තර කිරීමයි.

පවුල යනු මානව සමාජයේ මූළික ඒකකය බව අපි සියලු දෙනාම දනිමු. මර්ඩොක් නැමති සමාජ විද්‍යාඥයා දක්වන ආකාරයට පවුල යන්න ලෝකයේ සෑම සමාජයකම දක්නට ලැබෙන ලක්ෂණයක් වන අතර පොදු වාසස්ථානයක ජීවත්වීම, ආර්ථික සහයෝගීතාවය, නව සාමාජිකයින් සමාජයට එකතු කරන ප්‍රජනන කාර්යය හා ඔවුන් සමාජයට හුරුකරන සමාජානුයෝජනය පවුල නැමතිකුඩා කණ්ඩායම තුලින් සිදුවන ප්‍රධාන කෘත්‍යයන්වේ. එසේවුවද විවිධ සමාජවලට ආවේනික සමාජ ආර්ථික හා සංස්කෘතික සංදර්භය තුල මෙම කාර්යයන් සිදුවන ආකාරයේ වෙනස්කම් දැකිය හැකිය. කාර්මීකරණය, නාගරීකරණය හා තාක්ෂණයේ ශීඝ්‍ර වෙනස්වීමේ ප්‍රතිඵලයක් ලෙසබටහිර සමාජයේ පුද්ගලයා කෙරෙහි වන පවුලේ බලපෑම අඩුවී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ පවුල් ඒකකය ගතහොත් අතීතයේ සිටම පුද්ගලයා කෙරෙහි ඇති බලපෑම සාපේක්ෂව ඉහල මට්ටමක පවතී. අප සමාජයේ පවුලකේන්ද්‍රීය ස්ථානයක් හිමිකරගෙන ඇති බව පෙනීයයි. දීර්ග ඉතිහාසයක් ඇති සංස්කෘතිය, කෘෂිකාර්මික ආර්ථික පදනම, වැඩි ජනගහනයක් ග්‍රාමීයව ජීවත්වීම හා තවත් සාධක මෙම තත්වය නිර්මානය වීමට හේතුවී ඇත. කෙසේවුවද පසුගිය දශක කිහිපය තුල අප සමාජයේ සිදුවූ වෙනස්කම් නිසාඅතීතයේ පැවති තත්වය වර්තමානයේදක්නට නැත. මෙම සමාජ වෙනස්වීම් පවුල නැමති සමාජ ඒකකයේ පැවැත්මට නව අභියෝගයන් එල්ල කර තිබේ. පවුල් ඒකකයේ ප්‍රමාණය, ව්‍යුහය, කාර්ය කොටස් ආදී වශයෙන් සිදුවූ මෙම වෙනස්වීම්පුද්ගලයාට, පවුලට, ප්‍රජාවට හා සමස්ථ සමාජයට බලපෑම් ඇති කර තිබේ.

පසුගිය දශක කිහිපය තුල අප රටෙහි ප්‍රජා විද්‍යාත්මකව සිදුවී ඇති වෙනස්කම් පවුල් ඒකකයට බලපා ඇත. 1871 වර්ෂයේදී මිලියන 2.4 වූ ජනගහනය 2012 වන විට මිලියන 20.9 ක් වී ඇත. එනම් පසුගිය අවුරුදු 140 ක කාලය තුල මෙරට ජනගහනය අට ගුනයකින් වර්ධනයවී ඇත. මේනිසා පවුල්වල සංඛ්‍යානාත්මක වර්ධනයක් සිදුවී ඇති අතර ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී මූළික අවශ්‍යතා ඉටුකර ගත නොහැකි ගැටලු වලට මුහුන දෙන පවුල් ඒකක සංඛ්‍යාවේ වර්ධනයක් ඇතිකර තිබේ. මේහැර ජනගහන වර්ධනයේ තවත් බලපෑමක් වන්නේ 1963 දී පිරිමිඩයක් ලෙස පැවති ජනගහනයේ වයස් ව්‍යුහය 2012 වන විට සිලිංඩරාකාර ස්වභාවයක් ගැනීමයි. ළමා ජනගහන වර්ධනය අඩුවීම මෙයට හේතුවී ඇත. ආර්ථිකමය වශයෙන් යහපත් තත්වයක් වුවද මෙය පවුල් ඒකකයේ නව ගැටලු බිහිකිරීමට හේතුවී ඇත. මීට දශක හතරකට-පහකට පමණ පෙර සාමාන්‍යයෙන් පවුලක සිටි ළමයින් සංඛ්‍යාව 8-10ක් වුවද අද වන විට පවුලක සිටින ළමයින් සංඛ්‍යාව 1-3 දක්වා පහල බැස තිබේ.

සමාජ විද්‍යාත්මකව බැලීමේදී මෙම තත්වය පවුල් එකකයේ ගැටලු ඇති කිරීමට හේතුවී තිබේ. අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්‍ ඔවුන්ගේ ළමාකාලය ගැන ඉතා සතුටින් ප්‍රකාශ කරන දෙයක් වන්නේ පවුලේ බොහෝ සහෝදර සහෝදරියන් සමග කෙලිදෙලෙන් සොදුරු ළමා කාලයක් ගතකල බවයි. මෙය එකළ  සමාජාණුයෝජන ක්‍රියාවලියේ ප්‍රධාන ආකාරයක් විය. එහෙත් වර්තමානයේ මෙම තත්වය වෙනස්වීදෙමාපියන්ට හා පවුලෙන් පිටස්තර ආයතන එම කාර්ය භාරය ඉටු කිරීමට සිදුවී ඇත. පවුල් ව්‍යුහයේ සිදුවී ඇතිවෙනස්කම් මේ සදහා බලපාන ලද තවත් සාධකයකි. අතීතයේ විවාහයෙන් පසුවද එකම නිවසක ජීවත්වූ,සමාජ විද්‍යාත්මකව හදුන්වා දී ඇති විස්තෘත පවුල,අද වනවිට ස්වාමි පුරුෂයා, බිරිද හා දූදරුවන් පමනක් සිටින න්‍යෂ්ඨික පවුලක් දක්වා විකාශනයවී ඇත. විවාහයෙන් පසුව වෙනම නිවසක පදිංචිවන නව යුවල දරුවන් ලැබීමෙන් පසු ඔවුන් රැකබලා ගැනීමේ ප්‍රශ්නවලට මුහුණ දෙති. ග්‍රාමීය ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශවලට සංක්‍රමණයවූපවුල් මෙම ප්‍රශ්නයට තදබල ලෙස මුහුණ දෙති.

අතීතයේදී ස්වාමිපුරුෂයා හා බිරිද අතර පවුලේ කාර්ය කොටස්වල පැහැදිලි බෙදීයාමක් සිදුවුවද අද මෙම තත්වය වෙනස්වී ඇත. බිරිදද රැකියාවල නියැලී පවුලේ ආදායම් උත්පාදනයට දායකවීම හා ළමයින් තම අධ්‍යාපන කටයුතුවලට පූර්ණ කාලය යෙදවීම පවුලේ සාම්ප්‍රදායික කාර්ය කොටස් ඉටුකිරීම වෙනස්වීමට බලපා ඇත.මෙය පවුලේ අනොන්‍ය සම්බන්ධතා පිලිබද ගැටලු ඇතිකර තිබේ. විදේශ රැකියා සොයා යෑමත්, විශේෂයෙන්ම කාන්තාවන් මැදපෙරදිග රැකියා සදහා යොමුවීමත්, දෙමාපිය දෙදෙනා වෙනස් ප්‍රදේශවල රැකියා වල නිරතවීමත් පවුල් ඒකකයේ සුවිශේෂිත ගැටලු ඇති කර තිබේ.

පසුගිය දශක කිහිපය තුල ශ්‍රී ලංකාවේ සිදුවූ සමාජ ආර්ථික හා තාක්ෂණික වර්ධන තත්වයන් පවුලේ මානසික සෞඛ්‍යය සදහාද බලපෑම් සිදුකර ඇත. අද අපේ රටේ සමාජ සංචලතාවය නොහොත් පුද්ගලයින්ට සමාජයේ ඉහළ තත්වයක් ලගාකර ගැනීමේ ප්‍රධානම මාර්ගය ලෙස සලකන්නේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරඉහළ තනතුරු ලබා ගැනීමය. මේනිසා දෙමාපියෝ තම දරුවන්ගේ ලැදියාවන් හෝ දක්ෂතා ගැන නොසලකා පළමු ශ්‍රේණියේ සිටම තමන් බලාපොරොත්තුවන ආකාරයේ සමාජ තත්වයන් ලබා ගැනීම සදහා තම දරුවන් වෙහෙසකරමින් තල්ලු කරති. මෙය දෙමව්පියන්ගේ මෙන්ම ළමයින්ගේද මානසික ආතතිය වැඩිවීමට හේතුවී තිබේ. නව යෞවනයේ දූදරුවන්ට තමන් පිළිබද අවබෝධයක් ඇති කර ගෙන තීරණ ගැනීමට අවස්ථාව සලසනවාට වඩා දෙමාපියන්ගේ අභිලාශ සම්පූර්ණ කිරීමට බලකිරීම දෙමාපියන් හා ළමයින්තුල මානසික ගැටලු ඇතිවීමට හා සබදතා බිදවැටීම් වලට හේතුවී ඇත.තවද මත්ද්‍රව්‍ය, මත්පැන්, දුරාචාර හා අන්තර්ජාල හා නව තාක්ෂණය භාවිතාවෙන් ළමයින් වැරදි මාර්ගයට යොමුවේය යන නිරන්තර භීතියකින් පසුවීම නිසා විවිධ තහංචි පැනවීමද සබදතා පිළිබද ගැටලු ඇතිකර ඇත. ළමා හා යෞවණ මනස තේරුම් ගෙන මගපෙන්වා දෙන ආකාරය පිලිබද දෙමාපියන් දැනුවත්වීම අවශ්‍යය.

විවාහය යන්න අතීතයේදී ස්වාමිපුරුෂයා හා බිරිද අතරමුලු ජීවිත කාලය පුරා දිවෙන ස්ථිර සම්බන්ධතාවයක් ලෙස සැලකුවද අද වන විට දික්කසාද වැඩිවන ප්‍රවනතාවයක් ඇතැයි වාර්තා වේ. මේ පිළිබද සංඛ්‍යා ලේඛනවල පරසපරතාවයන් ඇත. ශ්‍රී ලංකාවේ දිනකට දික්කසාද 400 සිදුවන බවත් විවාහ 100 කින් 15 ක් දික්කසාදයෙන් අවසන් වන බවත් ප්‍රකාශවී ඇත. තවත් අධ්‍යයනයක මෙම ප්‍රමානය 25% දක්වා වර්ධනයවී ඇතැයි වාර්තාවේ. දික්කසාද වැඩිවීමේ ප්‍රවනතාවය පවුල් ඒකකයේ පැවැත්මට අභියෝග එල්ලකර ඇත. දික්කසාදයට බලපාන හේතු රාෂියක් ඇත. ගෘහස්ත හිංසනය, සැමියාගේ හෝ බිරිඳගේ අනියම් සබඳතා, සූදානම් නොවීවිවාහවීම, ලිංගික අනවබෝධය ආදිය ඉන් කීපයකි. කෙසේ වුවද මෙය විවාහක යුවලට, ළමයින්ට හා පොදුවේ පවුලේ පැවැත්මට අහිතකර තත්වයකි. මේ සදහා මැදිහත් විය හැකි ආකාර රාෂියක් තිබේ.

විශේෂිත ගැටලුවලට මුහුනපාන ලද පවුල් වල සුබසාධනය සදහා කටයුතු කිරීම පවුල් ශක්තිමත් කිරීමේදී අත්‍යාවශ්‍ය වෙයි. 2009 වර්ෂයේදී ශ්‍රී ලංකාවට අවශ්‍යවන පවුල් ප්‍රතිපත්තියක් සකස් කිරීමේ තොරතුරු රැස්කිරීමේ අරමුනෙන් පවුල් 1500 ක නියැදියක් තෝරාගෙන අධ්‍යයනයත් කළෙමු. එහිදී අපට හෙලිවූයේගෘහ මූළික ආබාධිත පවුල්, ආබාධිත ළමයින්සිටින පවුල්, සුවකල නොහැකි රෝගී සාමාජිකයින් සිටින පවුල්, මව මැදපෙරදිග රැකියා සදහා ගිය පවුල්, ස්වාමිපුරුෂයා නොමැති මව ගෘහ මූළික ලෙසකටයුතු කරන පවුල්, ගෘහමූළික සිරගතවී ඇති පවුල්විශේෂිත සුබසාධන සේවාවන් අවශ්‍ය පවුල් ලෙසය. මෙයට අමතරව සුනාමි, ජලගැලීම් හා නායයෑම් වැනි ස්වාභාවික විපත්වලට ලක්වූ පවුල් සහ අවුරුදු 30 ක් දිග්වූ සිවිල් යුද්ධය හා ත්‍රස්තවාදී ක්‍රියා නිසා පීඩනයට පත්වූ පවුල් ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමු විය යුතුය.

සමාජ වෙනස්වීම යන්න නවතාලිය හැකි දෙයක් නොවේ. අතීතයේදී අපේ සමාජය පැවති ආකාරයට නැවත ආපසු හැරවීමක් සිදුකල නොහැකිය. අතීත සමාජයේ පැවති යහපත් ලක්ෂණ වෙනස්වූ අද සමාජයට ගැලපෙන ආකාරයට සකසාගත යුතුය. සමාජ වෙනස්වීමේදී පුද්ගලයාට, පවුලට, ප්‍රජාවට හා සමස්ථ සමාජයටම ගැටලු වලට මුහුන දීමට සිදුවීම අනිවාර්ය වෙයි. සමාජ සේවකයින්ගේ කාර්ය භාරය වන්නේ මෙම වෙනස්වීම් හමුවේ පුද්ගලයින්ගේ, පවුලේ හෝ අනෙකුත් සමාජ සංසථාවන්හි ප්‍රබල බිදවැටීම් වලක්වා සමාජ සමබරතාවය ඇති කිරීමය. අප දකින ආකාරයට අප සමාජයේ පවුල ප්‍රබල ස්ථානයක් ගන්නා නිසා පවුල් සුබසාධනයට වැඩි අවධානයක් යොමු කලයුතුය. සමාජ සේවා කටයුතුවල නිරත වන රාජ්‍ය, රාජ්‍ය නොවන, පෞද්ගලික අංශයේ මෙන්ම ස්වේඡාවෙන් යෙදෙන පුද්ගලයෝ කිසියම් ප්‍රමාණයකට මෙම පවුල්වලට සේවාවන් සපයති.

සමාජ සේවය යන්න අප රටේ ප්‍රචලිත වුවද වෘත්තීයවේදී සමාජ සේවය යන්න වැඩි දෙනෙකුට ආගන්තුක සංකල්පයකි. එය සාමාන්‍ය සමාජ සේවයෙන් වෙනස්වේ. සමාජ සේවයේ ලක්ෂණය වන්නේ දුකට පත්වූ අයට ආධාර ලබා දීමයි. එහි පුණ්‍ය පරමාර්ථයක් ඇත. එය බොහෝදුට ද්‍රව්‍යමය හා මුල්‍යමය වශයෙන් සිදුවේ. දිගුකාලීනව ආධාර ලබා දීමේදී පුද්ගයින් යැපීම් තත්වයට පත්වීම මෙහි දක්නට ලැබෙන අයහපත් ලක්ෂණයකි. කෙනෙකුට සෑම දිනකම මාලුවෙකු ලබා දෙනවාට වඩා මාලු ඇල්ලීමේ කුසලතාවය ලබා දීම හොදයයි කියමනක් ඇත.

වෘත්තීයවේදී සමාජ සේවය සපයන පුද්ගලයා එම සේවය ලබාදීමේ නිපුනත්වක් ලබා සිටිය යුතුය. මෙම නිපුනත්වය සේවය ලබා දීමට අදාල දැනුම, කුශලතා සහ ආකල්පමය අංශවල එකතුවක්වේ. පවුල් මුහුණ දෙන ගැටලු හදුනා ගැනීමට, ඒවා විග්‍රහ කර ගැනීමට, මැදිහත්වීමේ සැළසුම් සකස් කොට ක්‍රියාත්මක කර ඇගයීමට ලක් කිරීමට හැකිවිය යුතුය. උපකාරක සම්බන්ධතා ගොඩ නගාගැනීමට, ඵලදායී සන්නිවේදනයට, සේවා සම්බන්ධීකරණය කිරීමට,  යොමු කිරීමට, පෙළඹවීමට ආදී වශයෙන් කුශලතා රාශියකින් හෙබි විය යුතුය. එසේම එම පවුල් කිනම් මට්ටමක සිටියද පිලිගැනීම, ගරුකිරීම, රහස්‍යභාවය රැකීම ආදී ආචාරධර්ම ආරක්ෂා කරමින් වැඩකිරීමට හැකිවිය යුතුය.

මෙම වැඩමුලුවෙහි ප්‍රධානම අරමුණ වන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ පවුල් මුහුනදී ඇති තත්වයන් අවබෝධකර ගැනීමට, මැදිහත් විය යුතු අංශයන් හා ආකාර පිළිබද එම අංශයේ විශේෂඥයින්ගේ අදහස් මත පදනම් කොට සාකච්ඡා සංවාදයක් ගොඩනගා ගැනීමය. මෙය වෘත්තීය සමාජ සේවකයින්ට මෙන්ම එම අංශයේ වැඩ කරන රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික අංශයේ  නිළධාරීන්ට ප්‍රතිපත්ති සකස්කරන්නන්ට, වැඩ සටහන් සකස්කරන්නන්ට හා ක්‍රියාවට නංවන්නනට ඉතා වැදගත් වනු ඇත.